Sunday, October 25, 2015

කලක් අවෑමෙන් පෙරුම් පුරා


කල්පනා ලෝකයේ
සිහින දෙවු දුව විලස
ඔබයි මා කුමරියේ
මගේ සිත වසඟකල...

කාලයේ වැලිතලා
මත නැගී එකළු උනු
නුඹ ඇවිත් ලබැඳියේ
මා ලොවට බබලන්න...

ලෙසින් ඔබ විශ්වයේ
අගනාම මැණික මට
රකිමි මා නෙත් ලෙසේ
මා දිවිය පුරාවට...

Sunday, June 21, 2015

සොඳුරු අතීතය


අතීතය තුල රැඳුනු
මතකයන් සිහිනයකි
හිත බොහෝ දුර ගිහින්
මුවට හසරැලි ගෙනෙන

පාසලේ පංතියේ

එකට අත්වැල් බැඳන්
කියූ ඒ රස කතා
අදත් මතකයෙ රැඳේ

වෙන්වෙලා දුරගිහින්

ලබැඳියන් අප කෙරෙන්
කොහේදෝ දන්නෙ නෑ
මිතුරනුත් සිටි එදා

එහෙත් මතකය ඔවුන්

කෙරෙන් නොම යයි කිසිත්
ජීවිතේ සොඳුරුතම
මිහිර සඟවා දමා

පංතියේ එකාමෙන්

සිටි අපේ යහළුවන්
යෙහෙළියන් කොහෙද අද
දන්නෙ නෑ බොහො දෙනෙක්

එහෙත් මා ප්‍රිය මිතුර

මිතුරියනි සිටි එදා
අමතකව නොයයි ඔබ
කිසිලෙසින් මතකයෙන්

නිහඬ රෑ තුන් යාමෙ

සිහිනයක ඔබ ඇවිත්
හිඳියි එක පංතියක
පෙර ලෙසම සිටි එදා

Wednesday, June 10, 2015

අවංක ආදරය


සැප බස් රියකි සවසදී මා නැගුනු එය
එනමුදු නොමැත හිඳගන්නට ඉඩ හසර
කොන්දගේ සද්දයට විසි උනි පසුපසට
යුවළකි පසු අසුනෙ පෙම්සුව ලොබ විඳින

යොමවා දෑස වෙනතක මා නොඅලස්ව
යනවිට ඇසේ පෙම්බස් තෙපලන ඔවුන
සුදු මා පණයි නුඹ නොමැතිව බෑ හිඳිනු
තරුණිය කියයි මහ සද්දෙන් හැමවිටම

පෙම්බස් මැද්දේ හෙමිහිට ඇදුනා බසය
සමහරු බැස ගියා තව අය නගිනා අතර
තරුණෙකි හෙමින් ලංවන මා සිටි දෙසට
ඔහු නෙත් යොමයි එබී එබී පසු පස අසුන

යුවළේ සිටිය තරුණය දුටුවා ඒ එන ඔහුව
තරුණිය ගල් ගැසුණි එකවර පැවසුව නිබඳ
නැත දැන් ඇසෙන්නේ හඬ නිහඬය ඔවුන
ආගන්තුකය අසලය දැන් පෙම් යුවළ

මේනම් සොහොයුරාමැයි තරුණිට වැඩිමහළු
සිතුනා මෙමට ඈ සිටි දෙස බැලුවාම
අහෝ අසරණිය යයි මට සිතෙනා විටම
කටහඬ අවදිවිය පැමිණිය ඔහු වෙතින

ඇයි ඔබ කලේ මා හට මේ ලෙස වංචා
මා අත වෙලී ආදරයෙන් උඹ උන්නා
ඊයෙත් ගිහින් රෙදිපිළි ගෙන අප දෙන්නා
ආ බව අමතකද උඹ දැන් මූ අත ගන්නා

තරුණිය හඬයි ඉකි බිඳ බිඳ හඬ නංවා
ඔබ මා මෙලෙස සැක කරනා බව කිසිදා
නැත මා සිතුවේ උඹ චපලයි ඒ හින්දා
තරුණිය කියූවයි බොළඳව සිහි ගන්වා....

Wednesday, May 27, 2015

නිසරු වූ මේ සසර



සසර නම් මිරිගුවෙහි
දිවිය සොයමින් දුවන
අසරණ වූ දනන් වෙමු 
දුක නසන මග නොදත්

දහස් වර ලැබී ඇත
ඔටුණු සක්විති වරම්
හිගා කා දුගී වී
මිය යන්න ඇත අපත්

පැළඳුවත් නෙක කිරුළු
ලබා අභිමන් මහත්
කුමටදෝ මේ කිසිත්
ගෙන යන්න බැහැ ඉතින්

නිසරු බව දැන දැනත්
කුමට ලොබ වනු තවත් 
නොපමාව දිරි වඩමු
සසර කෙටිවන ලෙසින්....

Wednesday, May 13, 2015

හිරු කුමරි


හිමිදිරිය පාන්දර
මිදුමේ දැවටිලා
නුඹ ඇවිත් ගත වීද
නොදැනීම බොහො වෙලා...

පමා වූ නිසාදෝ

නුඹ බොහොම සැර වෙලා
බොහෝ කෝපෙන් වගේ
රවයි මා දෙස බලා...

පුරා දෙපැයක් තුරා

බසය කොටනා නියා
කෙලෙස මා ඉවසම්ද
නුඹේ ඔය සැර මහා...

ලබන්නට ඔබේ කමා

සවස සෙව්වෙමි මෙමා
නුඹ ගිහින් නොකියාම
ගණදුරක මා තබා...

හෙට දිනේ අළුයමින්

පිබිද මම එනතුරා
ඉදින් මා හිරු කුමරි
හිරු කිරණ නොම යොමා...

Monday, May 4, 2015

ඈ ගිහින් නොකියාම


අහස වැහි බරව හිඳ
පොළොව රත් වී නැගෙන
දාහයට තිත තබන
ඈ ගිහින් නොකියාම...

නිසා ඒ දුක් සුසුම

කදුලැල්ල නෙත නැගෙන
නුඹ ගියා රැගෙන මා
සතු එකම මද පවන...

කිසිදාක නොම විලස

අළුයමින් කතා කොට
ගෙන්නුවා මා මෙලෙස
පණ ගන්න යළි ඇයට...

අහෝ එය ඛේදයකි

නොමැත සුසුමන් ඇයට
පණ දෙන්න නම් ඕන
වයර් මිටියක් එයට...

අටවලා වයර් පොඩි

පණ දුන්න යළි ඇයට
ගෙනෙන්නට මද පවන
දැන් ඇයට පුළුවන්ය...

රැගෙන ඔබේ ඈ නැවත

නොකර මා පිස්සෙක්ව
ඉතිං අක්කේ දෙන්න
මගෙ විදුලි පංකාව...

Tuesday, April 21, 2015

ආදර කතාවක්



අකුරු පොඩි එක් වෙලා
පද පෙළක ගැලපිලා
හදවතට ලංවෙලා
ඉකි බිඳියි මුමුණලා...

පරණ පෙම මතුවෙලා

අතීතය සිහි වෙලා
සිත බොහෝ පාරලා
රිදුම් දෙයි මැලවිලා...

පියලි බැඳ දහසකුත්

පා සෙනෙහෙ අපමණත්
ඔහු වෙතින් හිමිඋනත්
නුඹ නොමැත මා ලඟත්...

නිරතුරුව දුන්නු දුක්

කම්කටොළු මැද උවත්
නුඹ උන්න වසරකුත්
මා සමග සෙනෙහසින්...

අද වන්ම දිනයකදී

වසරකට පෙර එදා
නුඹ ගියා හැරදමා
වරද මා අත නිසා...

Xperia පෙළපතේ

Z යයි නම් තබා
කිරුළු පැළඳූ නුඹව
සිප ගන්න නෑ තවත්...

එහෙත් ඉන් පසු කලෙක

Galaxyය පැමිණිලා
මගේ ලොව එළිය විය
S පහයි නම් දරා....

Sunday, April 5, 2015

ඉක්මනට හොඳ වෙන්න



පද වැලක මිහිර මට
නොතේරෙනු කිමද අද
ගොළු වෙලා මගෙ සිතත්
ඔබ මෙන්ම අද දිනේ...

වෙනදා රෑ තුන් යාමෙ
නුඹ සමග නිදි වරා
ලියූ දේ අපමණයි
සිත් රූප මව මවා...

ඒත් අද අමාවක

ලබලදෝ මට සැකයි
නුඹ ගිහින් නිදියන්න
මා තබා අවදියෙන්...

තුන් වසක් පුරාවට

අප බැඳී සෙනෙහසින්
ලියූ ඒ දහසකුත්
ප්‍රෝග්‍රෑම්ස් මා අනේ...

චාජරය නැත තවත්

නුඹට පණ නළ දෙන්නෙ
බැටරියත් බැස ගිහින්
නුඹව නිදි කර හොරෙන්...

හිරු නැගෙන අළුයමට

මා සමග පිබිදෙන්න
මගෙ සොඳුරු ඩෙල් පොඩ්ඩෙ
චාජරය හරියන්න....